Spread the love

“ජයගමු ශ්‍රී ලංකා කියන්නේ ජංගම සේවයක් නෙමෙයි, ප්‍රතිපදාවක්. අද මේ ජයගමු ශ්‍රී ලංකා කියලා ජන ගත කරන්නේ මේ රට ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තබන ප්‍රතිපදාව. මේක ආරම්භ කරන්න කලින් අපිට පෙරහුරුවක් වුනේ අපි කරපු මෙවැනිම වැඩසටහන්. මෙවැනිම වැඩසටහන් දෙකක් අපි ගාල්ලේ හා යාපනයේ කළා. ඒකේ ගාල්ලේදී මම කතාව පටන් ගත්තේ මට ප්‍රතිපත්තියක් නැහැ කියලයි. මම කිව්වේ මට තියෙන්නේ ප්‍රතිපදාවක් කියලයි.
ප්‍රතිපත්තිවලට ඡන්දේ දීලා තමයි අපේ රට මේ තියෙන තත්වයට පත්වුනේ. හැබැයි මට හැමදාම තිබුණ ප්‍රතිපදාව තමයි, මම නියෝජනය කළේ රටට ජයග්‍රහණය ගෙන එ්ම වෙනුවෙනුයි. ජනතාවට ජයග්‍රහණය ගෙන එන අවස්ථාවන වෙනුවෙන් තමයි මම පෙනී සිටියේ. මම අද පෙනී ඉන්නේත් මේ රටේ අනාගතය ජයගන්න පුළුවන් නායකත්වය වෙනුවෙන්.
ඔබට මතක ඇති මීට අවුරුදු දෙකකට කලින් තිබුණ තත්වය. මේ රට ආර්ථික බංකොලොත්භාවයට පත්වුන මුල් අවස්ථාවේදී තිබුණ තත්වය. ඒ වෙලාවේ ඔය හොදයි කියලා කියන ප්‍රතිපත්ති තියෙන හැමෝම මේ රට භාරගන්න බෑ කියලා කිව්වා.
අද තියෙන තත්වයට හරි මේ රට ඇවිත් තියෙන එක ආශ්චර්යයක්. මේ රට මේ තත්වයට හරි අරගෙන එන්න පුලුවන් තත්වයක නෙමෙයි තිබුණේ. වර්තමාන ජනාධිපතිතුමා රට භාරගත්තේ ඒ වගේ වෙලාවක. එතුමා ප්‍රතිපත්තියක හිටියා නම් මම මෙහෙමයි කළේ, මම මෙහෙමයි රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කළේ, ඒ අය මට ඡන්දය දුන්නේ නෑ, මම ගම්පෙරලියට මෙච්චර මුදලක් වෙන් කළත් මට ඡන්දය දුන්නේ නෑ, 1990 ගිලන්රථ සේවය රට පුරාම ක්‍රියාත්මක කළත් මට ඡන්දය දුන්නේ නෑ, කියලා ප්‍රතිපත්තියක හිටියනම් රටට මේ තත්ත්වයට එන්නේ නැහැ.
එතුමා ප්‍රතිපදාවක ඉන්න නායකයෙක්. මම මේ ඓතිහාසික අනුරාධපුරයේ ඉදගෙන කියන්නේ ඒ කතාවයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ ප්‍රතිපත්තියක් නැති, ඒත් ප්‍රතිපදාවක් ඇති නායකයෙක්.
ප්‍රතිපත්ති වෙනස් වෙනවා. හැබැයි ප්‍රතිපදාවන් වර්ධනය වෙනවා. ඒක ඔහුගේ දේශපාලන ජීවිතයේ මුල් කාලයේ පටන් ඔහු ඉදිරිපත් කළ වැඩපිළිවෙලවල් වල දකින්න පුලුවන්.
එතුමා ජනමතයට ගරු කළ නායකයෙක්. ජනතා කැමැත්තට හැම වෙලාවකම හිස නමලා බැහැලා ගියපු නායකයෙක්.
හැමෝම කිව්වේ මේ තියෙන්නේ රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව කියලයි. ඒත් දැන් උදාවෙලා තියෙන්නේ ජනතාව බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව.ජනතාව බේරාගන්න පුලුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ විතරයි කියලා මම කියනවා.
අපි ජයගමු කියලා කියන්නේ අපි පැරදිලා තියෙන නිසා. කොහොමද අපි පැරදුනේ? හදෙන් හාල් ගෙනත් දෙන්නම් කියලා කිව්වම පෝලිම්වල ගිහින් ඡන්දේ දෙන තැන ඉදලම අපි පැරදුනා.
රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙනකොට, එකතුවෙලා රට ගොඩ නගන්න උදව්වෙන එක වෙනුවට රට දාලා දුවන තරමට පැරදිලා. පෞරෂයක් නැති තැනටම පැරදිලා. ඇයි මෙහෙම පැරදුනේ. ජනතාව දේශපාලඥයාගෙන් බලාපොරොත්තු වුනේ තමන් වෙනුවෙන් තීන්දු තීරණ, ප්‍රතිපත්ති ගැනීම නෙමෙයි. පාරට තාර දාගන්න, කොල්ලට රස්සාවක් අරගන්න එක. පොලීසියට කෝල් කරවාගන්න එක. මේවා තමයි ජනතාව බලාපොරොත්තු වුනේ.
දේශපාලඥයා බලාපොරොත්තු වුනෙත් ඕකේ අනික් පැත්ත. ඒගොල්ලෝ ජනතාව සතුටු කරන්න තීන්දු තීරණ ගත්තා. දැන් පාර්ශව දෙකම සමබරයි. කාටවත් කිසිම අයෙක්ට චෝදනා කරන්න බෑ. මේ රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙනකම්ම සිස්ටම් චේන්ජ් එකක් කරන්න මේ රටේ කවුරුවත් හිටියේ නෑ. කඩාගෙන වැටුනට පස්සේ තමයි මේ අය සිස්ටම් චේන්ජ් කරන්න බැස්සේ. අන්න ඒ වෙලාවේ තමයි සිස්ටම් චේන්ජ් වෙනුවෙන් වැඩ කරපු රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන නායකත්වයට අවස්ථාවක් ලැබෙන්නේ. තෙල් පෝලිම් නැති වුනා. ගෑස් පෝලිම් නැති වුනා. බෙහෙත් නැතිව මිනිස්සු මැරෙන එක නැතිවුනා. මූල්‍ය විනයක් ඇතිවුනා. අවනීතිය රජ කරන්න ගියපු එක නැවතුනා. එතුමා මේ ආර්ථික ව්‍යවසනයෙන් රට ගොඩගන්න අපිට දර්ශනයක් පෙන්නුවා. මොකක්ද ඒ දර්ශනය. ඒ දර්ශනයට මමයි නම දුන්නේ. ඒ නම තමයි මගෙන් පටන් ගමු කියලා ඔබ දකින්නේ.
තමන් පිරිහුනොත් සමාජයත් පිරිහෙනවා. සමාජයක් පිරිහුනොත් රටත් පිරිහෙනවා. රටක සමබරතාවය ඇතිකරන්නේ, රටක් සාමකාමීව පවත්වාගෙන යන්නේ රටේ ආර්ථිකය. ඒකට උදාහරණ හොයන්න ඈතට යන්න ඕන නෑ. පහුගිය කාලයේ දී සිදුවන දේවල් දිහා බලන්න. එයින් ඕනෑ තරම් උදාහරණ ගන්න පුලුවන්.
මට ජනප්‍රියම කථිකයෙක් විදියට බෙහෙත් නැතිව මැරෙන මිනිස්සුන්ගේ මිනී කරේ තියාගෙන, ගෑස් පෝලිම්වල, තෙල් පෝලිම්වල ගහ මරාගන්න මිනිස්සුන්ගේ මිනී කර ගහගෙන, දැන් මට බනින හැමෝගෙම ආදරය දිනාගෙන තරුවක් වෙලා ඉන්න තිබුණා. මම එහෙම හිටියේ නෑ. මමත් මගෙන් පටන් ගත්තා. මොකද අපි අහසින් දේශපාලනයට පහත් වුනේ නෑ. අපි පොලොවෙන් දේශපාලන කරගෙන ආපු මිනිස්සු. අපිට අවශ්‍ය වෙන්නේ මහ පොලොවේ දේශපාලනය කරන්නයි.

මෙන්න බලන්න තවත් පුවත්