බංග්ලාදේශ් මහජන සමූහාණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින නව මහ කොමසාරිස් තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලම් මහතා (Tareq Md. ArifulIslam) අද (11) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්ත පත්‍රය පිළිගන්වනු ලැබුවා.
අනතුරුව පැවති සාකච්ඡාවේදී ශ්‍රි ලංකාවේ වත්මන් ආර්ථික වාතාවරණය සහ කොවිඩ් 19 පාලනයට රජය ගෙන ඇති පියවර පැහැදිලි කළ ජනාධිපතිතුමා බංග්ලාදේශය ඇතුළු කලාපීය රාජ්‍යයන් සමග හඳුනාගත් ක්ෂේත්‍රවල ද්විපාර්ශවික සබඳතාව හැකි උපරිමයෙන් වර්ධනය කර ගැනීම සිය අභිලාෂය බව කියා සිටියා.
ඉන්දීය සාගරයේ පිහිටි රාජ්‍යයන් ලෙස සාමුද්‍රීය සහයෝගීතා වර්ධනයට විශාල ඉඩ කඩක් ඇති බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.
තම රට ඊට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයි නව මහකොමසාරිස්වරයා කියා සිටියා.
කෘෂිකර්මය සහ අපනයන බෝග ප්‍රවර්ධනය, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය සහ වෙළෙඳාම සබඳතා ප්‍රසාරණය කළ හැකි සෙසු ක්ෂේත්‍ර ලෙස ජනාධිපතිතුමා විසින් නම් කරනු ලැබීය. විශ්ව විද්‍යාල මට්ටමේ අධ්‍යාපන සහයෝගීතාව ප්‍රමුඛ අවශ්‍යතාවකැයි එතුමා සඳහන් කළා.
ශ්‍රි ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් දැනටමත් බංග්ලාදේශයේ උසස් අධ්‍යාපනයේ නිරතව සිටින බව සඳහන් කළ නව මහ කොමසාරිස්වරයා අන්‍යොන්‍ය ප්‍රතිලාභ ලැබෙන අයුරින් සිය රටේ අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලංකාව වෙනුවෙන් පුළුල් කිරීමට සූදානම් බව ද පෙන්වා දුන්නා.
2018න් පසු ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයෙකු බංග්ලාදේශයේ චාරිකා කර නැතැයි සඳහන් කළ අරිෆුල් ඉස්ලම් මහතා නිල චාරිකාවක් සඳහා සිය රටට එන්නැයි ජනාධිපති රාජපක්ෂ මහතාට කළින් කර තිබූ ආරාධනය යළි සිහිපත් කළා.
එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ රාජ්‍ය නායක මට්ටමේ සබඳතාවන්හි අවශ්‍යතාව අවධාරණය කරමින් වත්මන් දුෂ්කර සමය අවසන් වීමෙන් පසු ඒ පිළිබඳව අවධානය යොමු කරන බවයි.
Discussion about this post