ශී‍්‍ර ලංකා ඉතිහාසයේ වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් පෙනී සිටින සාමාන්‍ය පෙළ විභාගය අද (02) ආරම්භ වනවා. මේ සඳහා පෙනී සිටින මුළු අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව හත්ලක්ෂ 17,008 ක්. ඔවුන්ගෙන් හාරලක්ෂ 33,050 ක් පාසල් අයදුම්කරුවන් වනවා. පෞද්ගලික අයදුම්කරුවන් ගණන දෙලක්ෂ 83,957 ක්. අද ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙනවා. සියලු ප‍්‍රදේශ ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන 4,987 ක් ද, ඒවා සම්බන්ධීකරණය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541 ක් ද පිහිටුවා තිබෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත පැවසුවේ.

සෑම විභාග මධ්‍යස්ථානයකටම සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකටම විශේෂ ආරක්ෂාවක් ද සපයා තිබෙනවා. අපහසුතා මගහරවා ගැනීම සඳහා නියමිත වේලාවට පැය භාගයකට හෝ පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ.මෙවර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද පිහිටුවා තිබෙනවා. බන්ධනාගාරගත රැඳවූවන් වෙනුවෙන් මැගසින් බන්ධනාගාරයේ ද, පරිවාස භාරයේ සිිටින අයදුම්කරුවන් වෙනුවෙන් හෝමාගම, වටරැක ද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මහරගම අපේක්ෂා රෝහලේ සහ අයි. ඞී. එච්. උණ රෝහලේ ද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.නේපාලයේ පැවැත්වෙන 13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගී වී සිටින මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්කරුවන්ට එරට ශී‍්‍ර ලංකා තානාපති කාර්යයාලයේදී විභාගයට පෙනී සිටීමට ද පහසුකම් සපයා තිබෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත පැවසුවේ.

මෙන්න බලන්න තවත් පුවත්