පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව බන්ධනාගාරවල අභ්‍යන්තර තත්වය විමර්ශනය කරනු පිණිස ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරනය කලේය.

රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කණගාටුදායක අතර බන්ධනාගාර ඇතුළත ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

බන්ධනාගාරය හෝ පොලීසිය බිඳ වැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය බලපාන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන් අතර කුමන දේශපාලන මතයක් දැරුවද නිලධාරියෙකු හරි දේ කරන්නේ නම් එය අනුමත කිරීමට පසුබට නොවන බව ද ජනතාව විසින් තමාව පත්කර ඇත්තේ ඒ වෙනුවෙන් බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු ඉවත්කොට සම්පූර්ණයෙන් විධිමත් කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළ අතර ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, පොලිස්පති ඇතුළු කමිටුවක ප්‍රධානත්වයෙන් එය සිදු කෙරේ.එසේම නිලධාරීන් පුහුණු කිරීම්, දිරිගැන්වීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ.තවද දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතුව ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් යන මහත්ම මහත්මීහූ සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රමුඛ පොලීසියේ සහ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීහූ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙන්න බලන්න තවත් පුවත්