රාජ්‍ය පොසොන් උත්සවය මෙවර අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ දී පැවැත් වීමට තීරණය කර තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ පාලනයේ පවතින හෙයින් සමාජ දුරස්ථභාවය රැකෙන ලෙස මෙවර පොසොන් පොහොය උත්සවය පැවැත් වීමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොසොන් උත්සවය පැවැත් වීම පිළිබද ඊයේ(21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී මෙම තීරණයන්ට එළඹී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

“ආරෝග්‍යා පරමා ලාභා“ යන තේමාව මුල්කරගෙන මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සැමරීමට සුදුසු බවද මෙහිදී අගමැතිවරයා විසින් යෝජනා කර තිබේ.

ඒ අනුව මාධ්‍ය දායකත්වය මත අඩු පිරිසකගේ දායකත්වයෙන් මිහින්තලා පුදබිමේ පැවැත් වෙන රාජ්‍ය පොසොන් උත්සවය අටමස්ථාන ආශ්‍රිතව සහ සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම යන විහාරස්ථානවල ඇතුළු රට පුරා පැවැත් වෙන පොසොන් පිංකම් සමාජ දුරස්තභාවය රැකෙන පරිදි පැවැත් වීමට කටයුතු යොදා තිබේ.

තවද වයස්ගත පුද්ගලයන් හා යම්කිසි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් මෙම සීල ව්‍යාපාර සඳහා සහභාගී කර ගැනීමෙන් වළකින ලෙසත් මෙහිදී සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්