බොලිවුඩ් සිනමාවේ සිටින දක්ෂ ඇඳුම් නිර්මාණ ශිල්පියකු වන මනිෂ් මල්හෝත්‍රාගේ පියාණන් වන සුරාජ් මල්හෝත්‍රා පසුගිය දවසක ජීවිතයෙන් සමුගත්තා. මේ අවමඟුල් උලෙළට බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය කලාකරුවන් සහ කලාකාරියන් රැසක් ම සහභාගි වුණා. ප්‍රවීණ නිළි ජයා භච්චන් (අමිතාබ් භච්චන්ගේ බිරිඳ) තම දියණිය ශ්වේතා භච්චන් සමඟ සහභාගි වුණා. අවමඟුලට එක්ව සිටි කරන් ජොහාර්, කරීනා කපූර්, අයිශ්වර්යා රායි සහ සොෆී චෞද්රි වැනි කලාකරුවන් සහ කලාකාරියන් නිහඬව තම අවසන් ගෞරවය සුරාජ් මල්හෝත්‍රා මහතාට පුද කළා. නමුත්, ජයා භච්චන් නම් ඒ නිහඬ බව පවත්වාගෙන ගියේ නැහැ. ජයා භච්චන් එහි රැඳී සිටි කැමරා ශිල්පීන් කිහිප දෙනෙකු සමඟ උණුසුම් වචන හුවමාරුවක පැටලී සිටියා. මේ කැමරා ශිල්පීන් අනෙක් බොලිවුඩ් නළු නිළියන් පැමිණෙද්දී ඡායාරූප ගත්තත්, කිසිම ගැටුමක් ඇති වුණේ නැහැ. නමුත් ජයාගේ ඡායාරූප ගනිද්දීයි, තත්ත්වය වෙනස් වුණේ. කැමරාවල විදුලි එළි නිකුත් වෙද්දී එයින් කෝපයට පත් වූ මේ ප්‍රවීණ නිළිය, ඔවුන් දෙසට හැරී දිගට හරහට බනින්න පටන් ගත්තා.

“ඔයගොල්ලන් මැනර්ස් කියල දෙයක් අහල නැද්ද? මේක ‍ෆොටෝ ගන්න වෙලාවක්ද? මේක මළ ගෙයක් නේද? මේ වගේ සිද්ධියක් ඔයගොල්ලන්ගෙ ගෙවල්වල වුණොත් මෙහෙම හැසිරෙනවද? මටත් බලන්න ආසයි කොහොමද හැසිරෙන්නෙ කියලා.” ජයා භච්චන් මේ අයුරින් දොස් තබා තිබෙන බවයි බොලිවුඩ් ආරංචි පැවසුවේ.

මෙන්න බලන්න තවත් පුවත්