පසුගියදා අමෙරිකාවේ මිනියාපොලිස් නගරෙයේ දී පොලිස් නිලධාරියෙකු අතින් කළු ජාතිකයෙකු වූ ජොර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය වී එහි උණුසුම මැකී යාමටත් පෙර තවත් කළු ජාතිකයෙකු අමෙරිකානු පොලිස් නිලධාරියෙකු අතින් මියගිය පුවතක් ඇට්ලන්ටා ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක නිදාගෙන සිටි කළු ජාතිකයෙකු පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලීසිය සමග ඇති වූ බහින්බස්වීමකින් පසු පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් මෙම මරණය සිදුව ඇත්තේ.

27 හැවිරිදි රේෂාර්ඩ් බ්රූක්ස් (Rayshard Brooks) drive-through අවන්හලක සිය මෝටර් රථයේ නිදා සිට ඇත.ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක්කට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබුණි.පොලිසිය පවසන්නේ ඔහු රුධිරයේ මධ්‍යසාර ප්‍රමාණය මැන බලන පරීක්ෂාවෙන් අසමත් වීමෙන් පසුව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊට විරුද්ධ වී ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ වීඩියෝ පට දෙකක් මාධ්‍යයට නිකුත් වී තිබුණි.ඔහු නිලධාරියෙකුගේ ටේසර් තුවක්කුවක් අත්පත් කරගෙන පලා යන අයුරු එහි දැක්වෙයි.

ඒ යන අතරතුර ඔහු සෙසු නිලධාරියා ඉලක්ක කර ටේසර් තුවක්කුව ක්‍රියාත්මක කරන අයුරු වීඩියෝවේ අන්තර්ගත වේ.අනතුරුව පොලිස් නිලධාරියෙකු එල්ල කරන වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබන ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
අමෙරිකානු පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමක් පිළිබඳ මේ වසරේදී වාර්තා පළ වන 48 වන අවස්ථාව මෙයයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සිද්ධිය වාර්තා වී පැය 24 ක් ගතවන්නත් මත්තෙන් ඇට්ලන්ටා පොලිස් ප‍්‍රධානිවරිය ලෙස කටයුතු කළ එරිකා ෂීල්ඞ්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමටද තීරණය කර ඇති බවයි.

පොලීසියේ වෙඩි ප‍්‍රහාරයෙන් මියගිය 27 හැවිරිදි මෙම කළු ජාතිකයා වෙනුවෙන්ද මේ වනවිටත් විරෝධතා ආරම්භ වී තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්