පළඟැටි වසංගතයක් හේතුවෙන් සෝමාලියාවේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අසල්වැසි කෙන්යාවටත් වසංගතයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

පළඟැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම හේතුවෙන් ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට සෝමාලියාව පියවර ගත්තේය.

මෙම කෘමීන් විශාල වශයෙන් වගාවන්ට හා වෘක්ෂලතාදියට හානි කිරීම හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවයට විශාල තර්ජනයක් වී ඇති බව එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අප්‍රේල් මාසයේ අස්වැන්න නෙළීමට නියමිතව තිබීම හේතුවෙන් ඊට පෙර මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් දැවැන්ත ගැටලුවක් ඇතිවන බවද ඔවුන් සඳහන් කළේය.

අසල්වැසි කෙන්යාවේ ද දරුණු ලෙස පළඟැටි වසංගතය පැතිර ගොස් තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ කළාපයේ ප්‍රථම රට සෝමාලියාවයි.
සෝමාලියාව සහ ඉතියෝපියාව මේ සා විශාල පළඟැටි ආක්‍රමණයකට ලක්ව ඇත්තේ වසර 25කට පසුව බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එමෙන්ම කෙන්යාවේද මෙවැනි තත්ත්වයක් වාර්තා වී ඇත්තේ වසර 70කට පසුව බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සඳහන් කළේය.
ආරක්ෂාව සම්බන්ධයෙන් සෝමාලියාවේ පවතින අස්ථාවර වාතාවරණය හමුවේ ගුවන් යානා භාවිතයෙන් කෘමිනාශක ඉසීමටද නොහැකි වී තිබේ.
‘අප්‍රිකාවේ අඟ’ (Horn of Africa) යනුවෙන් නම් කරනු ලැබ ඇති කලාපයේ පළඟැටි වසංගතයට එරෙහිව සටන් කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඉකුත් ජනවාරි මාසයේදී ජාත්‍යන්තරයේ සහය ඉල්ලා සිටියේය.
ලබන ජූනි මාසය වන විට පළඟැටියන් 500 ගුණයකින් වර්ධනය වනු ඇති බව ද ඔවුන් පෙන්වා දී තිබේ

මෙන්න බලන්න තවත් පුවත්