මේ වනවිට ආරම්භ වී ඇති මහ කන්නයේ බඩඉරිඟු වගාවට යළි සේනා දළඹු උවදුර තුළින් දිවයින පුරා වාර්තා වන හානිය වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මේ පිළිබඳව සිදු වූ සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ඇතුළු අදාළ නිලධාරින් පසුගිය සතියේ සිට ගොවිබිම් වෙතම ගොස් මේ පිළිබඳව කරුණු සොයා බැලීමට කටයුතු කළ බවයි.
අම්පාර, මොනරාගල,අනුරාධපුර,කුරුණෑගල යන දිස්ත්‍රික්කවල මෙම බලපෑම් වැඩි වශයෙන් වාර්තාවන අතර, එය පාලනයට යොදා ගන්නා “එන්ජිවි වෛයිරසය” ක්ෂේත්‍ර නිලධාරින් මඟින් ගොවි ජනතාව වෙත ලබා දීමට මේ වනවිටත් පියවර ගෙන තිබෙනවා.
එසේම සේනා දළඹු උවදුරෙන් හානිවූ වගා බිම්වල තක්සේරු කටයුතු ද අදාළ ප්‍රදේශවල ක්ෂේත්‍ර නිලධාරින්ට කඩිනමින්, ප්‍රායෝගිකව, සාධාරණව සිදු කරන ලෙස උපදෙස් දී ඇති බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියා.
කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළේ සියලුම පළාත් සභාවලට රුපියල් ලක්ෂ 60ක මුදලක් සේනා දළඹු උවදුර පාලනය සඳහා ලබා දී ඇති බව සහ දැනටමත් මෙම උවදුරෙන් ගොවියා රැක ගැනීමට ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
නිවැරදි තක්සේරුවකින් අනතුරුව වගා හානි සඳහා සියලුම වන්දි නියත වශයෙන්ම ගොවි ජනතාවට ලබා දෙන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
කන්නය අවසානයේ තක්සේරුවෙන් පසු මාසයක් තුළ සියලු ගොවීන්ට එම වන්දි මුදල් හිමිවන නව ක්‍රමවේදයක් කාෂි රක්ෂණ මණ්ඩලය හරහා දැනටමත් හඳුන්වා දී තිබෙනවා.
එසේම නතර කර තිබූ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත පණගන්වා ගොවියාට සාධාරණය ඉටු කිරීමට රජය මේ වනවිටත් පියවර ගෙන අවසන් බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර සිටියා.
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වන්දි ගෙවීම, තක්සේරු කිරීමේ ගැටළු වගා හානිය තුළ වූ ගොවි ගැටළු, කෘෂිකර්ම අමාත්‍යාංශයට, කෘෂි රක්ෂණ මණ්ඩලයට මෙන්ම තමා වෙතද දැනුම් දීමට පියවර ගන්නා ලෙසයි.
Discussion about this post