නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය නගරයේ බස් නැවතුම් පොලෙහි විෂබීජ හරණ කටයුතු සිදු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නව කොරෝනා වෛරසය මෙරට තුළ පාලනය සිදු කිරීම සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

වෛරසය ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා, නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ(17) දින ත්‍රිකුණමලය නගරයේ  ප්‍රධාන බස්නැවතුම්පොල මෙලෙස විෂබීජ හරණය කර ඇත.

නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකයේ මූලිකත්වයෙන් සිදු කරන ලද මෙම වැඩසටහනෙහි දී බස්නැවතුම්පොලෙහි සියලූම ස්ථානත් බස් රථ ඇතුළතත් විෂබීජ හරණය කිරීම නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කර තිබේ.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් රැසක් සහභාගී වී සිටින ලද අතර, මෙම වෛරසය පාලනය කිරීම වෙනුවෙන් සිදු කල යුතු සෑම පියවරක්ම ගැනීමට නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටියි.

මෙන්න බලන්න තවත් පුවත්