කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන්ට විෂබීජ නාශකයක් එන්නත් කිරීම මඟින් කොරෝනා මර්ධනය කිරීමට හැකියාවක් ඇතැයි තමා විශ්වාස කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ (23) ප්‍රකාශ කළා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ දිනපතා පැවැත්වෙන කොරෝනා මර්ධනය පිළිබඳ කාර්‍ය මණ්ඩල හමුවේදීයි

මෙහිදී ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විද්‍යා හා තාක්ෂණ අංශයේ ප්‍රධානී බිල් බ්‍රයන් මහතා විසින් ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය ඉහළ පරිසර තත්ව තුල කොරෝනා වෛරසය ඉක්මනින් විනාශ වෙන බව පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම හිරු රශ්මිය හමුවේ වෛරසය ඉක්මනින් මිය යන බවද එම මහතා ප්‍රකාශ කර සිටියා.

ඔහුගේ කතාවෙන් අනතුරුව අදහස් දැක්වූ ඇමරිකානු ජනාධිපතිවරයා බිල් බ්‍රයන් මහතාගෙන් විමසා සිටියේ මිනිස් ශරීරයට ආලෝකය ඇතුළු කරන්නේ කෙසේද යන්නයි.

තව දුරටත් අදහස් දක්වමින් ජනාධිපති වරයා කියා සිටියේ තමන් දන්නා යම් විශබීජ නාශකයක් මිනිත්තුවකටත් අඩු කාලයක් තුළ වෛරසය විනාශ කරන නිසා එය මිනිසුන්ට එන්නත් කර බැලීම සිදු කළ යුතු බවයි.

නමුත් මෙහිදී තමා අදහස් කළ විශබීජ නාශකය කුමක්දැයි ජනාදිපතිවරයා හෙළි නොකරන ලදි.

ගෝලීය සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥ. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වින් ගුප්තා මහතා ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට සිය දැඩි විරෝධය ප්‍රකාශ කර සිටියා.

එම මහතා කියා සිටියේ විශබීජනාශක එන්නත් කරගැනීම ඉතාමත් භයානක ප්‍රතිඵල අත්කර දිය හැකි බවයි. සියදිවි නසා ගන්නා මිනිසුන් මෙම ක්‍රමය බහුලව භාවිතා කරන බවත් එම මහතා ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති ට්‍රම්ප් විසින් දිනපතා කරන මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ නැවැත්විය යුතු බවත් වෛද්‍ය ගුප්තා මෙහිදී අවධාරණය කළා

මෙන්න බලන්න තවත් පුවත්