අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව,රුපියල් මිලියන 75 කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා මත අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව විභාගයට අදාළ දින නියම කිරීම සඳහා එම නඩුව පෙබරවාරි මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව අද(27) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව පැමිණිල්ල විසින් විත්තියේ වෙත ලබාදිය යුතු ලේඛන සියල්ල ලබා දී ඇති බව පෙනී යන හෙයින් එම නඩු විභාග කිරීම සඳහා දින නියම කිරීමට හැකියාවක් පවතින බව පෙන්වා දුන්නේය.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කර සිටියේ නඩුවට අදාළ දින නියම කිරීම සඳහා කෙටි කැදවීමේ දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව නඩුව නැවත පෙබරවාරි මස 12 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින නඩු විභාගය සඳහා දින නියම කරන බව ද සඳහන් කළේය.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කළ බව කියන ඉඩම් මිලදී ගැනීමක් හා නිවසක් තැනීම, වාහනයක් මිලදී ගැනීම සහ මුල්‍ය ගනුදෙනු 26 ක් මුල්කරගෙන මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්