පසුගිය දිනවල කරන ලද පී.සී.ආර්. පරික්ෂණයන්හි වාර්තාවන් අනුව කොවිඩ් 19 වෛරස ආසාදිතයන් 13 දෙනෙකු වටවල ප්‍රදේශයෙන් ඊයේ(31) දිනයේදී තහවුරු කර ගැනුණු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. කාමදේවන් මහතා පවසනවා.

ඒ අනුව වටවල සංචරණ සිමා පනවා ඇති මවුන්ජින් වතුයායෙන් ආසාදිතයන් තිදෙනෙක්ද අගරවත්තෙන් ආසාදිතයන් අට දෙනෙක්ද කැරොලිනා තේ වත්තෙන් දෙදෙනෙක්ද වශයෙන් ආසාදිතයන් හමු වී ඇති බවයි කාමදේවන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ ඊයේ (31) දිනද කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සේවිකාවන් සිව් දෙනෙකු හමුවීමත් සමග එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ 600 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කර ඇඟළුම් කර්මාන්ත ශාලාව තවදුරටත් වසා දමා ඇති බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

ඊයේ (31) දින හමු වූ කොවිඩ් 19 වෛරස ආසාදිත 13 දෙනා අතර වටවල පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් සිව්දෙනාගේ ආශ්‍රිතයන් සිව්දෙනෙකු සිටින බවත්, සෙසු ආසාදිතයන් බස්නාහිර පළාතේ සිට වටවල ප්‍රදේශයට පැමිණි අය බවත් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. කාමදේවන් මහතා පවසනවා.

මෙන්න බලන්න තවත් පුවත්