ලොව පුරා පැතිර යමින් පවතින කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් විවිධ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් 59,000කට අධික පිරිසක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

විවිධ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සහන සැලසීම සඳහා පසුගිය මාර්තු මස අගභාගයේ දී මෙම වැඩසටහන විදේශ සබඳතා අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 59,419 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මොවුන්ගෙන් 21,575 දෙනෙකු මැද පෙරදිග කලාපයේ පදිංචි පුද්ගලයින් බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ මැදපෙරදිග රැදී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ලබාදෙන සහය වේගවත් කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

මීට අදාළ සාකච්ඡාවක් විදේශ ලේකම් රවීනාත ආරියසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර මෙහිදි විදෙස් රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල හා කොන්සල් කාර්යාලවල තානාපතිවරුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මන්ත්‍රණයකට ද එක්වූ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙහිදි ඉහළ යමින් පවතින විරැකියා ගැටළුව කොන්ත්‍රාත්තු අහිමිවීම්, වැඩ බලපත්‍ර දීර්ඝ නොකිරීම සහ තාවකාලිකව නිදහස් රැකියා නතර කිරීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබේ.

ඒ අනුව ශ්‍රමික කොටස්වලට ඔවුන්ගේ මූලික ජීවන තත්ත්වයන් පවත්වාගෙන යාමටත් ඔවුන්ගේ නිවෙස්වල සිටින පවුල්වලට සහය වීමත් කෙරෙහි අවධානය යොමුව ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම දැනට උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳව සොයා බලා අවශ්‍ය විසඳුම් ලබාදීමට විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට සැකකරනු ලබන හෝ එය ආසාදනය වීම හේතුවෙන් වෛද්‍ය ආධාර ඉල්ලා සිටින ශ්‍රී ලාංකිකයින්ට අදාළ වෛද්යෙ පහසුකම් සැපයිමට ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද විදේශ ලේකම්වරයා මෙහිදි වැඩිදුරටත් උපදෙස් ලබා දි ඇති බව සඳහන්‍ වෙයි.

මෙන්න බලන්න තවත් පුවත්