කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු බස්නාහිර පළාත අදියර කීපයක් යටතේ විවෘත කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ. මෙහිදී ව්‍යාපාරික ආයතනවල වැඩ නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත. රටේ ආර්ථිකය නැවත සක්‍රීය කිරීමේ රජයේ සැලසුම යටතේ මෙය සිදුවේ.

කොවිඩ්-19 මර්ධනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන පවසා සිටියේ බස්නාහිර පළාත විවෘත කිරීමේ කටයුත්ත විධිමත්ව සැලසුම් කර ඇති බවයි. නිදහස් වෙළඳ කලාප වල වැඩ ඇතුළු විශේෂ ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි මෙහිදී මූලිකත්වය හිමි වෙන බවයි ඇය පැවසූවේ.

රාජ්‍ය දෙපාර්තුමේන්තු සහ අමාත්‍යාංශ වල රාජකාරි කටයුතු සීමිත සේවකයින් සංඛ්‍යාවක් සමඟ ලබන සතියේ සිට ආරම්භ කරනු ඇත.

“විශේෂ ප්‍රවාහන පහසුකම් සැපයීම හරහා බස්නාහිර පළාතේ ශ්‍රම බලකායෙන් සියයට 20 ක් පමණ ඔවුන්ගේ කාර්‍යාල වෙත ගෙන්වාගෙන ඒවායේ අභ්‍යන්තර කටයුතු ඇරඹීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙහිදී එම කාර්‍යාල සාමාන්‍ය මහජනතාවට විවෘත වන්නේ නෑ.” රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය.

කාර්යාල වල පුද්ගලයන් එක් රැස් වීම අඩු කිරීම සඳහා, විවිධ කණ්ඩායම් විවිධ වේලාවන්හි වැඩ කරන ආකාරයේ කාල සටහන් නිර්මාණය වනු ඇත.

කෙසේ වෙතත්, හෙට සිට ඇඳිරි නීතිය ලිහිල් කරනු ලබන අනෙක් පළාත්වල රාජ්‍ය නිලධාරීන්ගෙන් සියයට 50 ක පිරිසක් රාජකාරියට පැමිණීම අපේක්ෂා කරන බවත් ඉන් පසුව එහි වැඩිවීමක් සිදු කරන බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජසිංහ මහතා ප්‍රකාශ කළේ RT-PCR පරීක්ෂණයට භාජනය කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව විද්‍යාත්මක පදනමින් සහ විශේෂඥ උපදෙස් මත තීරණ ගත යුතු බවයි. පුද්ගලයින් හෝ සංවිධාන විසින් කරන ඉල්ලීම් මත මෙම පරීක්ෂණ සිදු කළ නොහැකි බව පැවසූ එම මහතා වැඩි දුරටත් පැවසූවේ මෙම පරීක්ෂණ පැවැත්වීම සඳහා කාලය, මුදල් වැයවන බවත්, දැනට ඒවා සිදු කරනු ලබන්නේ ආසාදනය වී තිබීමේ වැඩි අවදානමක් ඇති අය සහ ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ අයට පමණක් බවත් ය.

මෙන්න බලන්න තවත් පුවත්