මැතිවරණ සමය තුළ දී සිය ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සඳහා දේශපාලන පක්ෂ අපෙක්ෂකයින්ට සහනයක්  ලබාදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව ලෙස තමන් මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ අරමුණින් රත්නපුරයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

දේශපාලන පක්ෂ ලේකම්වරු විසින් ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ඇති අපහසුතාවය පිළිබඳ කරුණු දක්වා තමාගෙන් මේ ගැන ඉල්ලීම් කළ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙමිසම විසින් ඒ අනුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඔවුන්ගේ පාරිභෝගිකයන් වන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින්ගෙන් වෙනත් දැන්වීම්වලදී ගන්නා මුදල වැඩි නොකරන ලෙසත් හැකි නම් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතුවලට සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටින බව මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී සඳහන් කළේය.

මැතිවරණයේ දී  පෝස්ටර් ඇලවීම සුදුසු නැතැයි විශාල මතයක් ඇති නිසාවෙන් අපේක්ෂකයන්ගේ මනාප අංකය ප්‍රසිද්ධ කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාව අවම මට්ටමක ඇති නිසාවෙන් මෙවැනි ඉල්ලීමක් කරන බවත් දේශප්‍රිය මහතා කියා සිටියේය.

ඔවුන්ට ගත හැකි වඩාත් හොඳම ප්‍රචාරණ ක්‍රමය වන්නේ ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීම බවත් පැවසු ඒ මහතා, ඒ තුළින් ඡන්ද ලකුණ ප්‍රසිද්ධ කළ හැකි බවත් පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්