අප්‍රිකාවේ කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉදිරි මාස කිහිපය තුළ මිලියන 10 දක්වා ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයකු සඳහන් කරනවා.

නමුත් එම සංවිධානයේ හදිසි මෙහෙයුම් අංශයේ ප්‍රධානී මිචෙල් යාඕ පසුගිය බ්‍රහස්පතින්දා සඳහන් කර තිබුණේ ඉබෝලා වසංගතය පිළිබඳවද මේ ආකාරයෙන්ම අණාවැකි පළවූ නමුත් ඒවා ඉටුනොවූ බවයි.

එබැවින් මෙම තත්ත්වය බොහෝවිට වෙනස් විය හැකි බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

වෛරසය පිළිබඳ නිසි අධ්‍යයනයකින් තොරව දීර්ඝ කාලීන තක්සේරුවක් සිදු කිරීම අපහසු බවත්, පුද්ගලයින් අනුගමනය කරන සෞඛ්‍ය පිළිවෙත් හේතුවෙන් මේ සඳහා යම් බලපෑමක් එල්ල විය හැකි බවත් දුරකථනය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මිචෙල් යාඕ සඳහන් කර තිබෙනවා.

මේ අතර ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලය සිදු කළ සමීක්ෂණයකින් පෙන්වා දී ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් අප්‍රිකාවේ මරණ ලක්ෂ තුනක් පමන සිදුවිය හැකි බවයි.

එක්සත් ජාතීන්ගේ ආර්ථික කොමිසමේ අප්‍රිකානු වාර්ථා පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය සඳහා කිසිඳු මැදිහත් වීමක් නොමැති තත්ත්වයක් යටතේ අප්‍රිකාවේ මරණ මිලියන 3.3ක් සහ ආසාදනය වීම් බිලියන 1.2ක් පමන විය හැකි බවයි.

අප්‍රිකානු මහද්වීපයෙන් මේවන විට කොරෝනා ආසාදිතයින් 17,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 900ක්.

කොරෝනා වෛරසය භූගෝලීය වශයෙන් රටවල් තුළ අඛන්ඩව ව්‍යාප්ත වීම සම්බන්ධව සැළකිල්ලෙන් සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපයේ අධ්‍යක්ෂ මැට්ෂිඩියෝ මොයිට් සඳහන් කළා.

මෙන්න බලන්න තවත් පුවත්