එළඹෙන මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිමේ කටයුතු අද(12) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

නාමයෝජනා බාරගැනිම අද දිනයේ සිට ලබන 19 වන දින දහවල්  12.00 දක්වා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ස්වාධින පක්ෂවලට ඇප තැන්පත් කිරිමේ කාලය ලබන 18 වන දින දහවල් 12.00 දක්වා අවස්ථාව ලබා දී තිබේ.

මේ වන විට ස්වාධින කණ්ඩායම් 35ක් පමණ ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

නාමයෝජනා බාර ගැනිමේ කාලසීමාව තුළ නාමයෝජනා බාර ගන්නා ස්ථානයන්හි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මහජනයා හැසිරවීම සහ රථ වාහන පාලනය කිරිම සඳහා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මැතිවරණ නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් කොට්ඨාස භාර පොලිස් නිලධාරින් වෙත උපදෙස් ලබාදී ඇති බව ද සඳහන්.

මේ අතර එළඹෙන මහ මැතිවරණයට අදාලව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කටයුතු අප්‍රේල 06, 08 සහ 09 යන දිනවලදී සිදු කිරිමට නියමිතයි.

06 සහ 08 යන දිනවලදී සියලු රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා අවස්ථාව හිමිවන අතර 09 වන දින පොලීසිය, හමුදාව සහ මැතිවරණ කාර්යාල නිලධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්