මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ එහිදී සිදුවූ වෙඩි ප්‍රහාරවලින් බව අද (08) අනාවරණය වුණා.
ඒ ඊට අදාළ නඩුව අද යළිත් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.
මහර බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ගැටුමට අදාළ නඩුව අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීය.
එහිදී අධිකරණය විසින් පත්කළ විද්වත් කමිටුව අධිකරණයට කරුණු වාර්තාකර තිබුණේ එම ගැටුමේදී මියගිය රැඳවියන් 11 දෙනා එදින සිදුවූ වෙඩි තැබීම්වලින් ඇති වූ මාරාන්තික තුවාල නිසා මියගොස් ඇති බවයි.
මින්පෙර රැඳවියන් 08 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ අතර අද සෙසු තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී වාර්තාකළේ සෙසු තිදෙනාත් වෙඩි වැදීම නිසා ඇති වූ තුවාල හේතුවෙන් මියගොස් ඇති බවයි.
අදාළ රැඳවියන් තිදෙනාට කොවිඩ් වෛරසය ආසාදනය වී නොතිබීම නිසා ඔවුන්ගේ දේහයන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව රජයේ වියදමින් භූමදානය කරන ලෙසට වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළා.
එමෙන්ම එම රැඳවියන් තිදෙනාගේ ඥාතීන්ට ආගමික වත්පිළිවෙත් සිදුකිරීමට අවස්ථාව ලබාදෙමින් එකී භූමදාන කටයුතු සිදුකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළ බව වාර්තා වනවා.
මෙහිදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනි සිටි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ ගැටුම අතරතුරදී මහර බන්ධනාගාරයේ දේපලවලට රුපියල් කෝටි හයහමාරකට ආසන්න අලාභයක් සිදුව ඇති බවයි.
Discussion about this post