විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර හෙළි කොට අනවසර ඉදිකිරීම් සෑදීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමකට අදාළ වැඩිදුර විභාගය ලබන 12 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කර ඇත. පෙත්සමට අදාළ විභාග දිනය නියම කිරිම සඳහා අදාල පෙත්සම අද (27) ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කර සිටියේ පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන 12 වනදා සිදු කරන බවයි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ. විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ආරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 හෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුලින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බව පෙත්සම ඉදිරිපත් කරන පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. මෙම නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්