පුත්තලම ප්‍රදේශයේ පදිංචි පියෙකුගෙන් ඔහුගේ දරුවන් තිදෙනාටද Covid – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වු පුවතක් වාර්තා වනවා.

මෙම දරුවන්ගේ පියා ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ සංචාරය කර මෙරටට පැමිණි අයෙක්. ඔහුගේ මෙම දරුවන් අවුරුදු 11, අවුරුදු 9 සහ අවුරුදු 5 යන වයස්වල පසුවන්නන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ.

එම දරුවන් වාර්තා වුණේ පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන්. එම මධ්‍යස්ථානයේ මේ වනවිට රඳවා සිටින පිරිස 84 ක්. එහි සිටි පුද්ගලයින් 35 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට දැනටමත් තහවුරු කර ගෙන අවසන්. ඉන් 21 දෙනෙකු මුස්ලිම් ජාතිකයන්.

මේ අතර මීගමුව, අක්කර 50 ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 4 යි මාස 6 ක දරුවෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන තිබෙනවා. මෙම දරුවා ඇතුළත් කර ඇත්තේ මීගමුව රෝහලටයි.

මේ අතර කොරෝනා ආසාදිත පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ පිරිසක් ජීවත් වන කුලියාපිටිය, කටුපොත පාරේ, කැකුණගොල්ල ගම්මානයේ නිවාස 23 ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. කිසියම් අයෙකුට කොරෝනා රෝග ලක්‍ෂණ පවතින්නේ නම් 1390 අංකයට දැනුම් දෙන ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 176 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ පුද්ගලයන් 33 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ රෝගීන් 138 දෙනෙකු පමණයි. වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල්ගතව සිටින සංඛ්‍යාව 259 ක්. ශී‍්‍ර ලංකාවෙන් කොරෝනා මරණ 5 ක් වාර්තා වුණා.

මෙන්න බලන්න තවත් පුවත්