හොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන කර්ක් ඩග්ලස් මියගොස් තිබේ.

60 දශකයේ දී අමෙරිකානු සිනමාව අතික්‍රමණය කළ ප්‍රවීණ රංගන ශිල්පී කර්ක් ඩග්ලස් සැලකෙන්නේ, හොලිවුඩ් සිනමාවේ පුරාවෘත්තයක් ලෙසයි.

ග්ලැඩියේටර්ස්, කව්බෝයිස් සහ ද වයිකින්ග්ස් වැනි බොක්ස් ඔෆීස් වාර්තා පිහිටවූ සිනමා නිර්මාණ රැසකට රංගන දායකත්වය ලබාදුන් ඔහු ලොස් ඇන්ජලීස් නුවරදී අභවප්‍රාප්ත විය.

ඔස්කාර් සම්මානලාභී නළු මයිකල් ඩග්ලස්ගේ පියාද වන කර්ක්, මියයන විට 103 වැනි වියේ පසුවිය.

සිය පියාගේ මරණය පිළිබද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මයිකල් ඩග්ලස් සදහන් කර ඇත්තේ, සිනමාවේ ස්වර්ණමය යුගය හැඩකල සිය පියාගේ මරණය සම්බන්ධයෙන් තමන් හා සොහොයුරන් වන ජොයෙල් සහ පීටර් ද බෙහෙවින් කණගාටුවට පත්වන බවයි.

1916 වසරේදී අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර උපන් කර්ක් සිනමා ක්ෂේත්‍රයට පිවිසියේ 40 දශකයේදීයි.

1949 වසරේදී පළමුවරට ඔස්කාර් සම්මානයක් සදහා නිර්දේශ වුණු ඉන් අනතුරුව තවත් දෙවරක් නිර්දේශ වී තිබේ.

කෙසේ නමුත් 1996 වසරේදී පිරිනැමුණු ගෞරව සම්මානය හැර ඔස්කාර් සම්මානයක් දිනාගැනීමට ඔහු සමත්ව නැහැ.

මේ අතර කර්ක් වෙත ගෞරව දැක්වීම සදහා ජනතාව හොලිවුඩයේ වොර්ක් ඔෆ් ෆේම් වෙත පැමිණ සිටියේය.

මෙන්න බලන්න තවත් පුවත්