ශ්‍රී ලංකාව ආසන්නයේ පහල වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ උතුර, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150 ක තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම, ඔහු කියා සිටියේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ පුත්තලම සිට කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය ද ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.
පවතින අධික වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 73 හි ජල මට්ටම සියයට 63 ඉක්මවා ගොස් තිබෙනවා.
වාර්මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ජලාශවල ජල මට්ටම සම්පූර්ණ වී ඇති අතර, ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කර ඇති බවයි.
එමෙන්ම, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 73 න් 18 ක් වාන් දමන බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
වසර 03 කට පසු පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු දහයම විවෘත කර ඇති අතර, පවතින වර්ෂාපතනයේ ඉහළ යාමක් ඇතිවුවහොත් රාත්‍රී කාලයේදී වාන්දොරටුවල ජල ධාරිතාව ඉහළ දමන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.ටී.සී. සුගීෂ්වර සඳහන් කළේ මේ හේතුවෙන් පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
ඒ පිළිබඳව අවට ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ද ඔහු සඳහන් කළා.
එමෙන්ම, වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මධ්‍යම කඳුකරයේ ජනතාව නායයාම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
Discussion about this post