පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙකු මේ වන විට මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ, ඒ අතර අනතුරට හේතු වූ බව කියන ටයරය පෙරලූ  සිසුවාද සිටින බවයි. 

අනතුරින් හිසට බරපතළ තුවාල සිදුවූ පසිඳු තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවකු වූ පසිඳු හිරුෂාන් සරසවි පරිශ්‍රයේදී අනතුරට ලක්වන්නේ පසුගිය මාර්තු 05 වැනිදා.

හිසට සිදු වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් ජීවිත අවදානමකට පත්ව සිටින පසිඳු තවමත් යන්ත්‍රයක ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර පසිඳුගේ වැඩිමහල් සොහොයුරා වන ලක්ෂාන් සිල්වා අද දෙරණට අදහස් දක්වමින් පවසා සිටියේ, මද සුවයක් ලැබී ඇති බව පෙනී යන බවයි.

නමුත් මේ වන විටත් සිහිය ලැබී නොමැති බවත් පැවසු ඔහු සහෝදරයා තවමත් යන්ත්‍රය ආධාරයෙන් ජීවිත් වන බවත් පැවසීය.

අනතුර සම්බන්ධයෙන් මිරිහාන පොලීසියේ නිළධාරීන් අදත් විශ්ව විද්‍යාල පරිශ්‍රයට පැමිණ විමර්ශන සිදු කළේය.

එහිදී කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව සිසුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිව් වැනි වසරේ සිසුන් බවත් අනතුරට සම්බන්ධ ටයරය එවූ සිසුවා ද ඒ අතර වන බවත් පොලීසිය කියා සිටියේය.

අනතුර සිදුවූ දින සාදයට සහභාගීවී සිටි ඇතැම් සිසුන් මත්පැන් පානය කරමින් සිටි බවද ඔවුන්ගේ සාක්ෂිවලින් හෙළි වුණු බව පොලීසිය වැඩිදුරටත් පැවසුවේය.

සැකකරුවන් අද(12) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අනතුරට පත් සිසුවා සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ , සිසුවාට ප්‍රතිකාර කිරීම සඳහා,අවශ්‍ය වුවහොත් ජනාධිපති අරමුදල ද යොදා ගන්නා බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසා සිටියේ මෙය නවකවදය යැයි වැරදි අර්ථ කථනයක් ලබා දී ඇති බවයි.

මේ අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු විනයාරක්ෂක නිලධාරී පාඨක කුමාරසිංහ මහතා මාධ්‍ය වෙත විශේෂ හෙළිදරව්වක් කළේය.

ඔහු කියා සිටියේ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සිදුකරන ඇතැම් වැරදි මෙවන් සිදුවීම්වලට සෘජුව වගකිවයුතු බවයි.

එමෙන්ම මෙම තත්ත්වය පාලනය කිරිම සඳහා සිවිල් කමිටුවක් සෑම විශ්වවිද්‍යාලයක් තුළටම යවා නවකවදය සිදුකරන පිරිස් ගැන තොරතුරු ලබා ගන්නා ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

මෙන්න බලන්න තවත් පුවත්