නිරෝධායන මධ්‍යස්ථාන සඳහා මේ වන විට යොමු කර ඇති පිරිසට අවශ්‍ය පහසුකම් හැකි පමණින් සපුරා දීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ(11) රාත්‍රීයේ  රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින්

ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වු යුද හමුදාපතිවරයා පවසා සිටියේ, යුද හමුදාවේ ඉංජිනේරු බලකාය යොදවා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පළමු 200ට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කළ බවයි.

වැසිකිලි පද්ධතියක් ඇති නමුත් එයින් අපද්‍රව්‍ය බැහැර කිරීමට ක්‍රමවේදයක් නොතිබුණු බවත් පැවසු යුදහමුදාපතිවරයා, එයට අවශ්‍ය ටැංකි යුද හමුදාව විසින් 300ක් වල දැමූ බවත් පැවසීය.

ඒ අනුව 500 ක් දක්වා වු පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවීමට කටයුතු කළ බවත් පැවසු ඒ මහතා, අද වන විට තවත් එවැනි වලවල් 300ක් සෑදීය යුතුව ඇතැයි ද යුද හමුදාපතිවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බස්රථයක සිටි පිරිසක් විසින් එම බස්රථයේ රියදුරාගේ බෙල්ල මිරිකා පැන යාමට උත්සහ කර ඇතැයි ද පැවසු හමුදාපතිවරයා මෙම කර්තවයට සියලු දෙනා එකාවන්ව සහය දැක්විය යුතු බවත් මෙවැනි සිදුවීම් නිරන්තරයෙන් සිදුවන බවත් කියා සිටියේය.

එපමණක් නොව නිරෝධායනය කිරීමට රැගෙන ගිය පිරිස අතර ගර්භනී මවක් සිට ඇති අතර ඇයට ප්‍රසූත වේදනාව ඇති වීම හේතුවෙන් දඹුල්ල රෝහලට ඇතුළත් කර පසුව මහනුවර රෝහල වෙත මාරු කර යවා අනතුරුව නැවතත් ඔවුන්ව ඉතා පරිස්සම් සහගත ලෙස නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ, කොරෝනා වෛරසය රටපුරා පැතිර යැමේ අවධානමක් ඇති බවයි.

එයට සියලු දෙනා එකතු වී මුහුණ දිය යුතු බවත්, දියුණු රටවල් පවා මෙම රෝගයට ගොඳුරු වන විට ලංකාව ගත හැකි සියලු ක්‍රියාමාර්ග මේ වෙනුවෙන් ගෙන ඇති බවත් එහිදී ප්‍රායෝගික ගැටළු මතු විය හැකි බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසීය.

මෙය සරලව ගත යුතු දෙයක් නොවන බවත්, මෙම රෝගය ලංකාවට මේ වන විට පැමිණ ඇති බවත්, එම තත්ත්වය තේරුම් ගෙන සියලු දෙනා කටයුතු කළ යුතු බවත් ඇය කියා සිටියේය.

මෙන්න බලන්න තවත් පුවත්