හෙටට(04) යෙදෙන 72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පුහුණුවීම් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පුද්ගලික සහ ජාත්‍යන්තර පාසල් 15ක් අද(03) දිනය තුළ ද වසා දැමීමට තීරණය කර තිබේ.
ජාතික නිදහස් දින උළෙලේ ආචාර පෙලපාලියේ අවසන් පුහුණු කටයුතු අද සිදු කෙරෙයි.
එමඟින් මතුවිය හැකි රථවාහන තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව කොළඹ ඩී.එස් සේනානායක, රාජකීය, තර්ස්ටන්, යශෝධරා, මියුසියස්, සෙන්ට් බ්‍රිජට්ස් සහ කාන්තා විද්‍යාලය වසා දැමීමට නියමිතයි.
එමෙන්ම පුහුණු කටයුතු සඳහා සහභාගී වන ආරක්ෂක අංශවල නිලධාරීන්ට නවතැන් පහසුකම් ලබා දී ඇති මහනාම විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය සහ පොල්වත්ත ශාන්ත මේරි කාන්තා විද්‍යාලය ද පසුගිය 31 වනදා සිට වසා දමා තිබුණි.
මීට අමතරව කොළඹ 12 මිහිඳු මහා විද්‍යාලය, කොළඹ 10 අල් හිදායා විද්‍යාලය සහ අශෝක විද්‍යාලය නිවාඩු ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
නිවාඩු ලබා දීම වෙනුවට වෙනත් දිනයන් ලබා දෙන ලෙස එම අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබේ.
මේ අතර කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රතව මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කිරීමට තීරණය කර තිබේ.
අද පෙරවරු 07.00සිට දහවල් 12.00 දක්වා එය ක්‍රියාත්මකයි.
ඒ අනුව නිදහස් මාවත, විද්‍යා මාවත, මේට්ලන් පෙදෙස, මේට්ලන් ක්‍රිසන්ට්, සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මාවත, මාර්කස් ප්‍රනාන්දු මාවත, පදනම් පාර සහ විජේරාම පාර හෝර්ටන් වට රවුම දක්වා කොටස අදාළ කාලය තුළ ගමනාගමනය සීමා කිරීමට නියමිතයි.
ගිලා බැසීමක් හේතුවෙන් ද කොළඹ ඩික්මන් පාර සහ හැව්ලොක් අතර මාර්ගයේ කොටසක් ඊයේ (02)පස්වරුවේ සිට වසා දමා තිබේ.


මේ අතර සිරකරුවන් 512 දෙනෙකුට ජාතික නිදහස් දිනය නිමිත්තෙන් නිදහස ලබාදීම සඳහා වන ලේඛනයක් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණු පසු හෙට දිනයේ ඔවුන් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි.


බරපතළ වැරදි 30කට සම්බන්ධ සිරකරුවන් නොවන සුළු වැරදි සඳහා කෙටි කාලීන සිර දඬුවම් ලබා සිටින පිරිසක් නිදහස් කිරීම සඳහා නිර්දේශ වී තිබේ.
නිදහස් උත්සව දින හා පෙරහුරු පැවැත්වෙන දිනවල මාර්ග වසා තැබීම හා ගමනා ගමනය සීමා කිරීම සඳහා මෙම සැලැස්ම ක්‍රිත්මක කිරීමට කටයුතු කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්