ඊයේ(12) දිනයේ තුළ තහවුරු කරගත් සියලුම පුද්ගලයින් මීට පෙර කොරෝනා ආසාදිත රෝගීන් ළගින් ඇසුරු කිරීම හේතුවෙන් අනිවාර්යය නිරෝධායනයට ලක් කර සිටි පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්යික්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඉන් හත් දෙනෙක්ම නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි පුද්ගලයින් බව ද අනාවරණය වී තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට මෙරට තුළ පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 147 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

එමෙන්ම වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 56 දෙනෙකු සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ දිනය තුළ ද පුද්ගලයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

මේ අතර පි.සි.ආර්.පරික්ෂාව මගින් කොවිඩ් නයින්ටීන් ආසාදනය වී නොමැති බවට තහවුරු වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් නිවෙස් කරා යැවීමේ කටයුතු අද(13) දිනයේත් සිදුකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊයේ දිනය තුළ පමණ දියතලාව සහ පූනානි නිරෝධායන ම්‍ධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් 250කට අධික පිරිසකගෙන් පි.සී.ආර්.පරීක්ෂණ සඳහා ඛේට සාම්පල ලබාගෙන ඇති බවයි.

අදාළ පරීක්ෂණ වාර්තා අද හෝ හෙට(14) ලබාගැනීමට අපේක්ෂා කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්