දෛවය උරුමකරදුන් අභියෝග පසෙකලා සිය අරමුණ කර ගමන්කරන දිරිය දියණියක් පිළිබඳ මේ පුවත වාර්තාවන්නේ ප්‍රංශයෙන්.

ප්‍රංශයේ අරස් නගරයේ ජීවත්වන එලිනෝර් ලලොක්ස් උපතින්ම ඩවුන්ස් සින්ඩ්‍රම් නම් ජානගත රෝගයෙන් පීඩා විඳින තැනැත්තියක්.

සිය ජීවිතය මුහුණුදී ඇති අභියෝගවලින් මදකුදු හෝ නොසැලුණු 34වැනි වියේ පසුවන එලිනෝර් දැන් ජීවිතයට තවත් ඉලක්කයක් ලගාකරගැනීමේ මහත් උත්සාහයක නිරතව සිටියි.

ඒ මෙවර අරස් හි පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීම මඟින්.

තමන්ගේ සියලු ආබාධ තත්ත්වයන් නොසලකා හරින එලිනෝර් , තමන් කෙසේ හෝ ඉදිරි මැතිවරණයෙන් පළාතේ මන්ත්‍රණ සභාව සදහා තේරීපත්වන බව පවසයි.

ඒ සම්බන්ධ පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු ඇය දැනටමත් ආරම්භ කර හමාරයි.

එලිනෝර් ගේ මේ උත්සාහය ඉතාමත් අභියෝගාත්මක වුවත්, එය නීතියට පටහැනි හෝ කළ නොහැක්කක් නොවන බව ප්‍රංශ දේශපාලන අධිකාරිය අවධාරණය කර තිබේ.

එමෙන්ම ඔවුන් පවසන්නේ ඇගේ අසනීප තත්ත්වය කිසිසේත් මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා බාධාවක් නොවන බවයි.

කුඩා අවධියේ සිටම එලිනෝර් විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ පාසල වෙත යොමුකිරීම ඇගේ දෙමාපියන් ප්‍රතික්ෂේප කර තිබුණි.

ඔවුන් එවක අවධාරණය කර ඇත්තේ, ලෝකයේ සියලු අභියෝග සදහා මුහුණුදීමට ඇය සූදානමින් පසුවිය යුතු බවයි.

ඒ සියලු අභියෝගවලට මුහුණදුන් එලිනෝර්ද මිනිසාගේ භෞතික ආබාධ නොසලකමින් සියලුදෙනා වෙතම සමාන සැලකිලි දැක්විය යුතු බව තරයේ විශ්වාස කරයි.

විදෙස් මාධ්‍ය මේ පුවත වාර්තාකරමින් අවධාරණය කරන්නේ,  යම් හෙයකින් ඇය මැතිවරණය ජයගතහොත් එය ප්‍රංශ ඉතිහාසය අලුත් කරනු ඇති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්