කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පෙනහළු ක්‍රියාකාරිත්වය අඩපණ වී කරාපිටිය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයකට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි ගයාන් දන්තනාරායන වෛද්‍යරයා අද (02) උදෑසන මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළා.
මෙම වෛද්‍යරයා ගැන පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහක් ඇති වුණා.
ඒ ඔහු වෛද්‍ය වෘත්තීය දේව කාර්යයක් කොට දරුවන් රැසකගේ ජිවිත බේරා ගත් වෛද්‍යරයෙක් නිසා.
ඔහු ගැන ඔහු ජීවත්ව සිටින කළ සුව පතා තැබූ සටහනක් පහතින්
වෛද්‍ය ගයාන් දන්තනාරායන covid19 ආසාදනය වෙලා ඉතා අසාධ්‍ය තත්වයෙන් මුල්ලේරියාව දැඩි සත්කාර ඒකකයේ මේ වෙනකොට ප්‍රතිකාර ලබමින් ඉන්නවා.
ගයාන් වගේ මිනිස්සු මේ වෙලාවෙ ජීවත් වෙන්න ඕනෙ ඒ වගේ නැති මිනිස්සුන්ගෙන් මේ ලෝකෙ පිරිලා ඉතිරිලා නිසා.
මේ කථාව, මගේ පලවෙනි පත්වීම අරගෙන දෙහිඅත්තකන්ඩිය ළමා රෝග ඒකකයේ වැඩකරපු කාලෙ. යුද්ධෙ අවසන් වෙලා අම්පාරට පොලොන්නරුවට සංවර්ධනයේ අලුත් බලාපොරොත්තු එන කාලෙ.
දෙහිඅත්තකන්ඩියට ලඟම නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකය පොලොන්නරුව මහ රෝහල, ඒ කාලේ හැමදාම ඒක පිරිලා.
ඉතිං,අලුත ඉපදුන අසාද්‍ය නොමේරූ ළදරුවො අරගෙන අපිට යන්න වෙන්නෙ අම්පාරට.
දෙහිඅත්තකන්ඩියෙ ඉඳන් ඒකාලෙ අම්පාරට යන ගමන අවම පැය 3ක්. කිලෝමීටර් 125 ක දුරෙන් වැඩි කොටසක පාරෙ ඇම්බියුලන්ස් එකේ යට බිම වදින සයිස් වලවල්.
ඒ කාලෙ තිබ්බ ඇම්බියුලන්ස් කියන්නෙ නිකංම ඇඳක් හයිකරපු, පිටිපස්සෙ දුනු තියන හයිඒස් වෑන්. මාදුරුඔය රක්ෂිතය මැදින්, අරලගංවිලෙන් යන පාරෙ තියන වලවල් වල වැටෙනකොට හූමිකම්පාවක් වගේ ගැස්සෙන්නෙ.ගමන මැද ගැස්සෙනකොට අර දරුවට කෘතීම ස්වශනය දෙන්න දාපු ET tube එක (ඔක්සිජන් දෙන්න පෙනහලුවලට දාන නලය) ගැලවිලා. ඉතිං ඇම්බියුලන්ස් එක නවත්තලා ටෝච් එකක් ගහගෙන ආයෙ ඒක දාන්න ඕනෙ.
දරුවගෙ විජලනය වලක්වන්න ඇම්බියුලන්ස් එකේ ජනෙල් ඔක්කොම වහන්න ඕනෙ, උශ්නත්වය රැකගන්න ඕනෙ නිසා AC එක දාන්නෙ නෑ. මේ වෙනකොට ඇම්බියුලන්ස් එක ඇතුල පෝරනුවක් වගේ.කොහොමත් ගමනෙ මේ වෙලාව වෙනකොට නර්ස් මිසී, සුළු සේවිකාව එහෙම බොහෝවිට වමනෙ දාන්න පටන් අරන්.
අපි ඔය දුශ්කර ගමන ගෙවාගෙන යනකොට අම්පාරෙ ලදරු දැඩි සත්කාර ඒකකයෙ බොහෝවිට ඉන්නෙ ගයාන්. සෞඛ්‍ය ක්ශේත්‍රයේ මේ වගේ කේස් එකක් ඇම්බියුලන්ස් එකක දාලා අරන් එන එකට කියන්නෙ “බකට් එකක්” කියලා. බකට් එකක් අරන් යන අපිව ඕන තැනකින් බාරගන්නෙ කැමැත්තෙන් නෙවෙයි. ()
ඒ අතින්,අම්පාරෙදි ළමයා භාරගෙන කෘතීම ස්වශන යන්ත්‍රවලට සෙට් කරපු ගමන් ගයාන් අහන්නෙ, “අයියෙ – කාලද ආවෙ ” ? කියලා.
බොහෝවිට රෝහලේ කැන්ටින් එකට ගිහින් තේ එකක්, කන්න දෙයක් අරන්දීලා ළමයා අමාරුවෙන් එක්කගෙන ආවට තෑන්ක්ස් කියලා තමයි ආයෙ අපිව එවන්නෙ. ඒ වගේ පුරුද්දක් කිසිම කෙනෙක් කරනව මගේ ජීවිත කාලෙදි දැකලා නෑ.
ගයාන් ලගෙ PBU එකෙන් භාරගත්තු දරුවො , සති කීපයකින් සුවකරලා ආයෙ එවනවා. එහෙම බාගෙට මැරිලා ගිහිං සනීපවෙලා ආපු සමහර දරුවො අදටත් උපන්දිනේට මාව බලන්නත් එනවා.
ඒ ගොඩක් දරුවො දැන් පෙරපාසල්, පාසල් යන නිරෝගී ළමයි.
මේක ලියනවිටත් GMOA එකෙන් ගයාන්ව, ECMO ප්‍රතිකාරවලට කරාපිටියෙ ගෙනියන්න උත්සාහ කරන ගමන්.
ඒ අතීතයේ සියල්ල මැවිලා පේන මේ වෙලාවෙ, මට කියන්න ඉතුරුවෙලා තියෙන්නෙ
“මචං,කොහොම හරි ඉක්මනට සනීප වෙලා වරෙන්” කියලා විතරයි.
ගයාන්, උඹට ඉක්මන් සුව ! Don’t stop fighting. ❤️❤️
Chanith Peduruarachchi
Discussion about this post