ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අද්වීතීය නායකයා වන මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ ‘එම් එස් දෝනි – ‘දි අන්ටෝල්ඩ් ස්ටෝරි’සඳහා රංගනයෙන් දායක වූ ප්‍රකට ඉන්දියානු රංගන ශිල්පී සන්දීප් නහාර් දිවි නසාගෙන තිබෙනවා.
මුම්බායි පොලිසියවාර්තා කරන්නේ එය දිවි නසාගැනීමක් ලෙස තහවුරු කර ඇති බවයි.
දිවිනසාගැනීමට පෙර සමාජ මාධ්‍ය ජාලයක ඒ සම්බන්ධයෙන් සටහනක් තැබූ ඔහු, පෞද්ගලික ගැටලු මත දිවිනසාගැනීමට තීරණය කළ බව සඳහන් කර තිබුණා.
ඒ සමඟ වීඩියෝවක ද පෙනී සිටිමින් එයද මුහුණුපොතට ඇතුළත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මුම්බායිහි ඔෂිවාරාහි පිහිටි නිවාස සංකීර්ණයක දී, සිවිලිමේ පංකාවක එල්ලී ඔහු දිවි නසාගෙන ඇති අතර මේ බව දුටු ඔහුගේ බිරිඳ, නිවාස සංකීර්ණයේ හිමිකරු සමඟ එක්ව ඔහුව පෞද්ගලික රෝහල් දෙකකට රැගෙන ගොස් ඇති නමුත්, ඒවනවිටත් ඔහු මිය ගොස් සිටි බවයි.
පසුව, ඔහුගේ බිරිඳ ඒ සම්බන්ධව පොලිසිය දැනුවත් කළ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මුම්බායි පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද සඳහන්.
‘එම්. එස්. දෝනි’ සිනමාපටයේ දෝනිගේ මිතුරා ලෙස රංගනයෙන් දායකත්වය දක්වන්නේ සන්දීප් නහාර්ය. එම සිනමාපටයේම දෝනිගේ චරිතය වෙනුවෙන් පෙනී සිටි සුප්‍රකට රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත්ද ඉකුත් වසරේ දිවි නසාගත් අතර ඒ සම්බන්ධයෙන් ද දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.
Discussion about this post