2011 වසරේදී ජපානයට බලපෑ ටොහොකු භූකම්පනය සහ සුනාමි ව්‍යාසනය සිහිපත්කිරීම සඳහා වන විශේෂ ප්‍රදර්ශනයක් සෞදි අරාබියේදී පැවැත් විය.

2011 වසරේ මාර්තු මාසයේදී ජපානයේ ඊසානදිග කලාපයට රිච්ටර් මාපකයේ ඒකක 9 ක විශාලත්වයෙන් යුත් භූකම්පනයක බලපෑම් එල්ල විය.

මාර්තු මස 11වැනිදා සිදුවූ මේ භූකම්පනයෙන් මිනිස් ජීවිත රැසක් අහිමිවූ අතර ඉන් දේපොළ රැසකට ද හානි සිදුවුණේ ජපානයට බලපෑ ප්‍රබලතම භූකම්පනය ලෙසින් ඉතිහාසයට එක්වෙමින්.

ඉන් පසුව සුනාමි තත්ත්වයක්ද හටගත් අතර, ඉන් සිදුවූ හානිය භූකම්පනයෙන් සිදුවූ හානියද ඉක්මවයි.

එම විපත සහ ඉන් දිවි අහිමිවූවන් සිහිකිරීම වෙනුවෙන් සෞදි අරාබියේ ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි.

අත්කම් නිර්මාණ එක්කර මෙම ප්‍රදර්ශනය පැවැත්වුණේ සෞදි අරාබියේ ජාතික කෞතුකාගරයේදීයි.

ඒ සඳහා විවිධ තේමා යටතේ ටොහොකු නගරයේ ජනතාව අතින් කෙරුණු බදුන්, කූඩ වැනි නිර්මාණ එක්කර තිබුණි.

මෙම අවස්ථාවට රියාද් හි ජපාන තානාපතිකාර්යාල නිලධාරීන්ද එක්ව සිටියේය.

2012 වසරේ සිට ටොහොකු ප්‍රදර්ශන ලොව පුරා ප්‍රධාන නගරවල පැවැත් වේ.

ඒ නගරයේ ජනතාවගේ සුබසාදනය සැලසීමේ අපේක්ෂාවෙන්.

මෙවර පැවැත්වුණේ ටොහොකු ප්‍රදර්ශන මාලාවේ 29වැනි පියවරයි.

ප්‍රදර්ශනය මේ මස අවසන් වන තුරු පැවැත්වීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්