මිලියන 150කට ආසන්න අමෙරිකානු පුරවැසියන් පිරිසකට බලපෑම් එල්ල කරමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බවට චීනයට චෝදනා එල්ල වී තිබේ.

අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ, මෙය අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දත්ත මංකොල්ල අතුරින් එකක් බවයි.

අමෙරිකාව වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බවට චීන හමුදා නිලධාරීනි සිවුදෙනෙකුට චෝදනා එල්ලවී තිබේ.

ඔවුන් අමෙරිකාවේ ප්‍රකට සමාගමක් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ලකරමින් අමෙරිකානුවන් මිලියන 150කට ආසන්න පිරිසකට බලපැම් එල්ලකර ඇති බවයි විමර්ශකයන් පවසයි.

2017 වසරේදී සිදුවූයේ යැයි පැවසෙන මෙම දත්ත සොරාගැනීමේ සිදුවීමේදී, අදාළ ආයතනය සන්තකව පැවැති ඉතාමත් සංවේදී තොරතුරු රැසක් සොරාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

ඉන් අදාළ අමෙරිකානු ආයතනය සමඟින් ගනුදෙනු කළ බ්‍රිතාන්‍යය සහ කැනඩාව යන රටවල පුරවැසියන් රැසක්ද අපහසුතාවට පත්ව ඇතැයි සඳහන්ය.

අමෙරිකාව පවසන්නේ, සයිබර් ප්‍රහාරයේ සැකකරුවන් ලෙසින් චීන හමුදාවේ 54වැනි පර්යේෂණ ආයතනයේ සාමාජිකයන් බවයි.

ඔවුන් කිසිවෙකුගේ අවධානයට හසුනොවී සති කිහිපයක් පුරාවට අදාල ආයතනයේ දත්ත ගබඩාව වෙත පිවිස ඇති බවත් මේ වාර්තාවල වැඩිදුරටත් සදහන්ව තිබුණි.

සිද්ධිය අනාවරණය කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළ අමෙරිකානු නීතිපති විලියම් බාර් පෙන්වා දෙන්නේ අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දත්ත මංකොල්ලය මෙය බවයි.

මේ වනවිට සැකකරුවන් සම්බන්ධ බොහෝ තොරතුරු අනාවරණය කරගෙන ඇතත්, ඔවුන් දැනට රැදී සිටින ස්ථානය සොයාගැනීමට හැකිව නොමැත.

එබැවින් ඔවුන් සම්බන්ධ නඩු විභාගයක් අමෙරිකාවේදී ක්‍රියාත්මක වනු ඇත්ද යන්න සැකසහිත බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

මෙන්න බලන්න තවත් පුවත්