කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකය යළි ගොඩනැඟීමේ අරමුණ ඇතිව ගෘහස්ත ආර්ථිකය දියුණු කිරීම සඳහා පමණක් එක් මසක් වෙනුවෙන් රුපියල් කෝටි 100ක මුදලක් මෙවර අය වැයෙන් වෙන් කර තිබෙන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ අනුව රටේ ගෘහස්ත ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් මෙවර අය වැයෙන් රුපියල් කෝටි 1,000ක මුදලක් වෙන් කර තිබෙන බව පෙන්වා දුන් බැසිල් මහතා මෙය විශාල කාර්යයක් වන නමුත් එම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා ග්‍රාමීය මට්ටමේ සිට සෑම ආයතනයක්ම බෙදාගෙන ක්‍රියාත්මක කළ යුතු බවද එක් ගමකට අවම වශයෙන් එක් ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කළ යුතු බවද පෙන්වා දුන්නා.
බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ බදුල්ල, ඌව විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවති 2021 අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ “ගම සමඟ පිළිසඳරක්” තුළින් “වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහනේ ඌව පළාත් කමිටු සාකච්ඡාවට ඊයේ (18) එක්වෙමිනි.
ලබන වසරේදී ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම නඟා සිටුවීමේ දැවැන්ත පෙරළිය සඳහා “ගම සමඟ පිළිසඳරක්” තුළින් “වැඩ සමඟ යළි ගමට” වැඩසටහන සමඟ උපරිම කැපවීමෙන් එක්වන්නැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ඌව පළාත් දේශපාලන නායකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළා.
Discussion about this post