කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනා ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ, ඒ පිළිබඳව යුද හමුදාව හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මාර්ගයෙන් තොරතුරු ලබා ගන්නා බවයි.

ඔවුන් රැඳී සිටි හෝටල් ඇතුළු ආයතන කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය නිරෝධායන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ද ඇය සඳහන් කළාය.

මේ අතර පාසල් වසා දැමීමට සමගාමීව විශ්ව විද්යාවල සම්බන්ධයෙන් අදාළ තිරණ ගැනීම සදහා ඒ ඒ විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ට බලය පවරා ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කිසිදු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු කොරොනා වෛරසය ආසාධිතයෙකු වී නොමැති බවයි.

මේ අතර  රජයේ සහ පුද්ගලික පාසල් ඇතුලු සියලු පාසල් අද සිට වසා තැබෙයි.

ඒ අනුව පාසල් වල පළමුවාරය අවසන් වී දෙවන වාරය සදහා යළි විවෘත කිරිමට නියමිතව ඇත්තේ ලබන අප්‍රේල් මස 20 වන දිනයි.

අදාළ කාළය තුළ දහම් පාසල් වසා දැමීමටත් තීරණය කර ඇති අතර පුද්ගලික උපකාරක පන්ති සති දෙකක් වසා දැමීමට සමස්ථ ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය උපකාරක පන්ති ආයතන වලින් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය පිළිබද අමාත්‍යංශය, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එහි පළමුවැනි අදියර ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්ය  අංශය සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්