ක්ෂණික තේ පැකට්ටු වලින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන ගණනක් තේ කෝප්පයට නිදහස් වන බව පර්යේෂණයකින් හෙළිවී ඇත. කැනේඩියානු පර්යේෂකයින් පිරිසක් විසින් මේ බව සොයාගෙන ඇති අතර ඔවුන් පවසන්නේ මිල අධික ප්ලාස්ටික් තේ පැකට්ටු මගින් මෙසේ අධි මාත්‍රා වලින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ජලයට නිදහස් වන බවයි.පර්යේෂණයට බඳුන් කළ තේ පැකට්ටු වලින් බොහොමයක් කඩදාසි මිශ්‍රණයකින් නිපදවා තිබූ නමුත් මිල අධික සන්නාම සහිත තේ පැකට්ටු සඳහා ප්ලාස්ටික් දැල් විශේෂයක් යොදාගෙන තිබුණු බව ද පර්යේෂකයෝ පවසති.

නටන වතුරට දැමූ එවැනි එක් ප්ලාස්ටික් බෑගයකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් බිලියන 11.6ක් ද ඊට වඩා කුඩා නැනෝ ප්ලාස්ටික් කොටස් බිලියන 3.1ක් ද නිදහස් වී තිබූ බව ඔවුන්ට දක්නට ලැබී ඇත.මේවා කිසිසේත්ම පියවි ඇසට නොපෙනෙන කොටස් වන අතර මෙම ප්‍රමාණයන් සම්බන්ධව තමන් පුදුමයට පත්වූ බවද පර්යේෂකයෝ පවසති.සමහර ආහාරවල, බෝතල් කළ ජලයේ සහ ටැප් වතුරේ ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් බොහෝ සෙයින් හමුවන බව ඔවුහු සඳහන් කරති. තේ පැකට්ටු සඳහා ප්ලාස්ටික් යොදා ගැනීම අවශ්‍ය නොවද බවද පර්යේෂකයන් අවධාරණය කර ඇත. ඉහත කී පර්යේෂණය සඳහා ඔවුන් විසින් සන්නාම හතරකට අයත් ප්ලාස්ටික් දවටන තුළ බහා ඇති තේ මිලදී ගනු ලැබ ඇත.

බොහෝ තේ බෑග් කඩදාසි යොදා සකසා තිබුණ ද, මිලෙන් වැඩි ඇතැම් සන්නාම කඩදාසි වෙනුවට සිය තේ අඩංගු කිරීම සඳහා දැල් සහිත ප්ලාස්ටික් බෑග් වර්ගයක් දෙසට යොමු වී ඇත.පර්යේෂකයන් එම බෑග්වලින් තේ ඉවත් කර හිස් බෑග් පමණක් සෙල්සියස් අංශක 95ක උෂ්ණත්වයක් යටතේ (තේ ‘උණු’ කිරීම සඳහා යොදා ගන්නා උෂ්ණත්වයේ) උණුසුම් කර ඇත.එහිදී ඔවුන් නිරීක්ෂණය කර ඇත්තේ, එක් ප්ලාස්ටික් තේ බෑගයකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන 11.6ක් සහ නැනෝ ප්ලාස්ටික් අංශු බිලියන 3.1ක් උණුසුම් ජලයට එක් වන බවය.

එම අංශු පියවි ඇසින් කිසිසේත් දැකගත නොහැකිය.“තේ බෑග් ඇසුරුම්වලින් මුදා හරින ප්ලාස්ටික් අංශු මට්ටම මීට පෙර වෙනත් ආහාරවල වාර්තා වූ ප්ලාස්ටික් ප්‍රමාණයට වඩා වැඩි” බව මෙම පර්යේෂණය මගින් හෙළි වී ඇතැයි ‘Environmental Science and Technology’ සගරාවේ පළ කර ඇති පර්යේෂණ වාර්තාවේ දැක්වේ.ඊට සහභාගි වූ පර්යේෂිකාවක වන ලෝරා හර්නැන්ඩස් පවසන්නේ, බෝතල් කළ පානීය ජලය වැනි ආහාරපාන සම්බන්ධයෙන් කළ පර්යේෂණයන්ට සාපේක්ෂව තේ බෑග් සම්බන්ධයෙන් කළ පර්යේෂණයේදී ලැබුණු නිගමන සම්බන්ධයෙන් සිය කණ්ඩායම විස්මයට පත්වූ බවය.

මෙන්න බලන්න තවත් පුවත්