මේ වන විට ලෝකය පුරා COVID-19 වෛරසය හේතුවෙන් විශාල පිරිසකට ජිවිත අහිමි වී ඇත. 

ලෝකයේ මෙන්ම අපේ රට තුල ද මෙම වෛරසයෙන් මිනිස් ජිවිත බේරා ගැනීම සදහා අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමාගේ මෙහෙයවිමෙන් සෞඛ්‍ය අමාත්‍යතුමියගේ උපදෙස් අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල කැපවීමකින් යූතුව කටයුතු කරනු ලබයි. 

මෙහිදී වෛරසයට එරෙහිව සටන් කිරීමට නවීන තාක්ෂණික උපකරණ නිර්මාණයන් ද ලෝකයේ මෙන්ම අප රට තුල ද බිහි වෙයි. 

නුවර මහ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒ්කකයේ හෙද නිලධාරි බිහාන් හපුතන්ත්‍රී මහතා විසින් එකවර රෝගීන් 04 කට කෘත්‍රීම ශ්වසනය ලබාදිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් නිර්මාණය කර ඇත. 

එම යන්ත්‍රය අද දින (02) සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හදුන්වාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. 

හෙද නිලධාරි බිහාන් හපුතන්ත්‍රී මහතා පෙන්වා දෙන පරිදි  කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ පෙනහළු ක්‍රියාකාරීත්වය අක්‍රීය වීම හේතුවෙන් කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර යොදා ගෙන ප්‍රතිකාර සේවාවන් සිදු කළ යුතුව ඇත.  

නමුත් ප්‍රමාණවත් තරම් කෘත්‍රීම ස්වසන යන්ත්‍ර නොමැතිවීම නිසා විදේශ රටවල ජනතාවගේ ජිවිත අහිමිවීමට හේතුවක් වෙයි. 

රුපියල් ලක්ෂ  40 ක් පමණ වන මෙම කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර ශ්‍රී ලංකාව තුල 500  ක පමණ ප්‍රමාණයක් තිබුනත් කොරෝනා රෝගීන් සදහා ඒවායින්  ප්‍රයෝජනයට ගත හැකි වන්නේ යන්ත්‍ර 300 ක් වැනි ප්‍රමාණයකි.  

ඔහුගේ නව නිර්මාණය අනුව එක් කෘත්‍රීම ශ්වසන යන්ත්‍රයකින් රෝගීන්ට විෂබීජ පැතිර නොයන පරිදි රෝගීන් 04 කට කෘත්‍රීම ශ්වසනය එකවර ලබාදිය හැකි බැවින් දැනට රෝහල්වල තිබෙන 500  ක් වන කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර සංඛ්‍යාවෙන් ලබාදෙන සේවාව 2000 දක්වා ඉහළ නැංවිය හැකි බව ද පෙන්වා දෙයි. ඒම නිසා හදිසි තත්වයකදී මෙම ක්‍රමවේදය මගින් රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට විශාල පහසුවක් වේ. 

මෙම නව නිර්මාණය නිසා රජයට විශාල මුදලක් ඉතිරි වන බවද බිහාන් හපුතන්ත්‍රී මහතා අමාත්‍යවරියට පැහැදිලි කලේය.
මෙම අවස්ථාවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන, අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලාල් පනාපිටිය මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

මෙන්න බලන්න තවත් පුවත්