නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සෑම පවුලකටම සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා.
ණය සම්පාදනය කාණ්ඩ 03ක් යටතේ සිදු කෙරෙන අතර මසකට රුපියල් 50,000ට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීනට රුපියල් 50,000ක ණයක් ගැනීමට හැකියාව පවතිනවා.
මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණය ලබාදීමට නියමිතයි.
මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000ට අඩු නම් ණය මුදල රුපියල් 10,000ක්.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ණය ලබාදෙනු ලබන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගින් බවයි.
පරිපූරක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම සේවකයන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුයි.
ආයතන ප්‍රධානියා තම සේවකයන්ගේ සහතික කළ නාම ලේඛනය සේවා ස්ථානය අසළ රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එම බැංකු ශාඛාව විසින් සේවකයන්ගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කරනු ඇති.
ණය මුදල මාස 10ක් ඇතුළත ගෙවා නිම කළ යුතු අතර අය කෙරෙන මාසික පොලිය සියයට 0.625ක්.
2021 ජනවාරි සිට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇතුළත සේවකයාගේ වැටුපෙන් ණය මුදල අය කර ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.
රජයේ විශ්‍රාමලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට ණය සම්පාදනය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පවරා තිබෙනවා.
ත්‍රීරෝද රථ, පාසල් වෑන්, බස් රථ හිමියන්ට සහ පෞද්ගලික බස් රථ සේවකයන් වැනි අයට සිය බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කොට සහන ණය මුදල ඉල්ලුම් කිරීමට හැකියි.
මෙම කාණ්ඩයට අයත් නොවන එහෙත් රාජ්‍ය බැංකුවල ගිණුම් ඇති දෛනික රැකියාවන්හි නිරතවූවනට ද සිය බැංකුවෙන් මූල්‍ය පහසුකම් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා.
කොවිඩ් 19 අභියෝගය හමුවේ අඩාල වූ ආර්ථිකය සහ ජන ජීවිතය මුළුමනින්ම යථා තත්ත්වයට පත් කර 2020දී අහිමි වූ ප්‍රගතිය ද සමගින් 2021 වසරේ රට ඉදිරියට ගෙන යාම රජයේ අරමුණයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ වසංගත සමයේ මාස 02ක පමණ සංචරණ සීමා කාලය තුළ අපනයන, සංචාරක, ඉදිකිරීම් සහ වෙනත් නිෂ්පාදන හා සේවා කෙමෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට වැඩ කරන ජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව මහත් කැපකිරීම් කළ බවයි.
සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස් සහ රාජ්‍ය සේවා වෙතින් ඒ සඳහා ඉමහත් සහයක් ලැබුණු අතර ඒ හේතුවෙන් 2020 වසරේදී කෘෂිකාර්මික, නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුනර්ජීවනයකට පිවිසීමට හැකි වී තිබෙනවා.
අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නාගරික ජන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය ආහාර සැපයුම ඉන් තහවුරු කෙරුණු අතර එසේ දායක වූ ජනතාවට පිරිනැමෙන දිරි ගැන්වීමක් ලෙස උත්සව සමයේ පරිපූරක මූල්‍ය පහසුකම් සැලසුම් කරනු ලැබූ බවයි.
Discussion about this post