රජය විසින් බස් රථ හිමියන්ට අවශ්‍ය ඉන්ධන සහනාධාර ලබා නොදෙන්නේ නම් මැයි 11 වන දින ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුවත් පෞද්ගලික බස් රථ ධාවනය සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් බස් රථ ධාවනය කිරීම සඳහා සහන මිලකට ඉන්ධන ලබා දෙන්නැයි බස් රථ හිමියන් දිගින් දිගටම රජයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි එම මහතා ප්‍රකාශ කර සිටිනවා.

ලාභ අපේක්ෂාවකින් තොරව පවත්වාගෙන යන මෙම බස් සේවාවට අදාල ‍වියදම් පමණක් පියවා ගැනීම තම අපේක්ෂාව වන බැවින් බස් රථ වලට 50%ක අඩු මුදලකට ඉන්ධන ලබාදීමට බස් රථ හිමියන් ඉල්ලීම් කළත් ඊට කැබිනට් අනුමැතිය නොලැබුණු බව එම මහතා චෝදනා කර සිටිනවා.

පාසල් සහ උපකාරක පන්ති වසා තිබීම, දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමට නොහැකි වීම සහ සෞඛ්‍යාරක්ෂිත නීති රෙගුලාසි වලට යටත්ව සීමිත පිරිසක් ප්‍රවාහනය කිරීමට සිදුවීම යන කාරණා මත මැයි මස අග වනතෙක් පමණක් මෙම සහනය ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටි බවත් ගැමුණු විජේරත්න මහතා පවසයි.

මෙම කාලය පුරාවට දැඩි පීඩාවකට ලක් වූ බස් රථහිමියන් කිහිප දෙනෙක් හෝ සිය පාඩුව පියවා ගනිමින් බස් රථ ධාවනය කිරීම උදෙසා සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් මග හරිමින් බස් රථ ධාවනය කිරීමට පෙළඹීමට ඉඩ ඇතැයි එම මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම, දැනටමත් ත්‍රී රෝද රථ හිමියන් අදාල සෞඛ්‍ය පිළිවෙත් කඩ කරමින් අතුරු මාර්ග භාවිතා කරමින් මගීන් ප්‍රවාහනය කිරීම හරහා වසංගත තත්වය වඩාත් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් මෙම සහනය ලබා දීම හරහා රටේ අවදානම් තත්වය පාලනය කිරීමට තමන් ලබාදෙන දායකත්වය සඳහා උපකාර කරන ලෙසත් ගැමුණු විජේරත්න මහතා ඉල්ලා සිටියි.

මෙන්න බලන්න තවත් පුවත්