ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, දේශයේ අසිරිමත් මහ සංස්කෘතික මංගල්‍ය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රට වැසි සියල්ලන්ට සාමය සතුට සෞභාග්‍ය සපිරි නිරෝගීමත් කාලපරිච්ඡේදයක් වේවායි ප්‍රාර්ථනා කරන බවයි.

ආපදාවකට මුහුන පා සිටින බැවින සාමුහික උත්සව පැවැත්විය නොහැකි නමුත්, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන රෝග කාරකය පැතිර යාම වැළැක්වීමට කැපවන ලෙස ජනතවාගෙන් ඉල්ලා සිටින බව ද, එහි සඳහන් ය.

දැන් අප එළැඹ සිටින්නේ, සොබා දහම සමග බද්ධ වීමේ අවශ්‍යතාව වඩාත් දැනෙන මොහොතක බව ද, ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

චිරාත් කාලයක් ඉටුකළ අවුරුදු චාරිත්‍ර මෙවරත් පවුලේ අය සමග පමණක් එක්ව සිදුකිරිම යෝග්‍ය බවත්, අවුරුදු සැණකෙළිවලට සීමා පනවා ඇති නමුත්, දරුවන්ට අවුරුදු සතුට භුක්ති විඳීමට ඉඩ සැලසිය යුතු බවත් ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩයේ සඳහන් ය.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද, අලුත් අවුරුදු දින පණිවිඩයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, මහජන සුවසෙතට අදාළ නීතිරිති හා වාරණ මෙවර අලුත් අවුරුදු දින කිහිපයේ ක්‍රියාත්මක කෙරෙන බැවින්, ඒවාට අදාළව අලුත් අවුරුද්ද ගත කරන්නට මහජනතාවට සිදුව ඇති බවයි.

එහෙත් ඒ සියල්ල මධ්‍යයේ වුව ද, අලුත් අවුරුද්දේ අරුත නොනසා පවත්වාගත හැකි යැයි, තමා විශ්වාස කරන බව ද, අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ජාතියේ ඒකාග්‍රතාව හා සහජිවනය පිළිඹිබු කරමින්, නිවස තුළ පමණක් හිද චාරිත්‍ර ඉටුකර, සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යා හැකි බව ද, එම පණිවිඩයේ සඳහන් ය.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වසර දහස් ගණනක් නොබිදී පවත්වාගෙන ආ සිරිත් විරිත් තුළින් මතුවු ජාතික හැගීම්වල වටිනාකම වෙනදාටත් වඩා හොඳින් දැනෙන බවයි.

සියල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරන බව ද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්