මම ගෙදර ඉන්න දවසට උදේ පහමාර හය වෙනකොට අවදි වෙනවා.
නැගිටලා කුස්සියට ගිහින් මුලින්ම කරන්නේ ලොකු වතුර වීදුරුවක් බොන එක. ඊට පස්සේ බොඩි වොෂ් එකක් දාලා, පිරිසිදු ඇඳුමක් ඇඳගෙන, මල්කඩලා බුදුන් වඳිනවා.
බොහෝ විට උදේ බුද්ධ වන්දනාවෙන් පස්සේ ටික වේලාවක් භාවනා කරන එක මගේ දිනචරියාවෙම කොටසක්. ෂූටින් වැඩවලට උදේ යන්න තිබුණොත් උදේට අම්මා බුදු පහන තියනවා. මම හවස බුද්ධ වන්දනාව කරනවා.
මම උදේට පිටිකිරි බොන්නේ නෑ. ඒ නිසා එළකිරි වීදුරුවක් හරි, පළතුරු යුෂ වීදුරුවක් හරි ඖෂධීය කැඳ වීදුරුවක් තමයි බොන්නේ.
ඕනෑම පළතුරු වර්ගයක් යුෂ හදලා බොනවා. ජූස් බ්ලෙන්ඩරයක් තියෙන නිසා වතුර මොකුත් දාන්නේ නැතුව එළවළු, පළතුරු යුෂ නැවුම් බවින්ම තමයි මම පාවිච්චි කරන්නේ. එළවළු වලින් කැරට්, බීට් විතරක් නොවෙයි බොංචි, රාබු වගේ එළවළුත් එකට බ්ලෙන්ඩ් කරලා බොනවා.
ඊට අමතරව ගොටුකොළ, මුකුණුවැන්න වගේ ඖෂධීය කොළ වර්ගවල යුෂ සුමානයට දවස් තුනක් හතරක් අනිවාර්යෙන් භාවිතා කරනවාමයි. උදේ කෑම පිළියෙල කරන්නෙත් මමමයි.
විශේෂ වැඩක් තිබුණෙ නැත්නම් උදේ කෑම ටික විනාඩි 10-15 වගේ වෙද්දි හදා ගන්න මට පුළුවන්.
ගොඩක් වෙලාවට මම උදේට කන්නේ පළතුරු විතරයි. නැත්නම් කුරක්කන් රොටියක්. තම්බපු බිත්තර දෙකක් එක්ක ටෝස්ට් කරපු පාන් පෙත්තක් වගේ තමයි ගන්නේ.
මගේ අම්මාට, ලොකු අම්මාට හොඳට උයන්න පුළුවන්. මටත් ඕනෑම කෑමක් රසට හදන්න පුළුවන්. ඒ හදන කෑම වලින් මම හදන චිකන් කරියයි, පැස්ටා, මැකරෝනි කන්නත් හැමෝම කැමැතියි.
මම මොන කෑම හැදුවත් මුල්තැන දෙන්නේ රසයටත් වඩා ගුණයට.
ඒ නිසා මගේ හැම කෑම එකටම ඉඟුරු, සුදුලූනු වැඩිපුර එකතු කරනවාමයි. මම විශේෂයෙන්ම හදන ඔට්ස් රොටියටත් සුදුලූනු, ඉඟුරු දානවාමයි. මම හිතනවා නිරෝගිකම ආරක්ෂා වෙනවා. ඉඟුරු, සුදුලූනු, කරපිංචා වගේ දේවල් භාවිතයෙන් ලොකු පිටුවහලක් ලැබෙනවා කියලා.
ඉතින් මම හිතනවා අත්ගුණේ තියෙන කෙනෙක් වතුරෙන් එළවළුවක් තම්බලා ගත්තත් රසයි කියලා. අම්මයි, මායි බෙදාගෙන වැඩ කරන නිසා මට පහසුයි.
කොහොමටත් මම උයනවා කියන දේ වදයක් විදිහට දකින්නේම නෑ. මට හිතෙනවා ඒක හරිම විනෝදයෙන් කරනවා නම් මහන්සියක් දැනෙන්නෙත් නෑ, කෑමත් රසයි. පුරුද්දක් විදිහට මම කුස්සියේ ඉන්නවා නම් මම ආසම කරන සිංදු දාගෙන තමයි උයන්නේ.
එහෙම නැත්නම් යූ-ටියුබ් එකේ තියෙන වැදගත් වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා වගේ දේවල් ඩවුන්ලෝඩ් කරලා ඒ වෙලාවට අහනවා.
දැන් නම් මම බොහෝ වෙලාවට උයන්නේ මුළුතැන්ගෙයි සවිකර තියෙන ටී.වී. එකේ විකාශය වෙන ධර්ම දේශනාවලට ඇහුම්කන් දෙමින්.
Discussion about this post